ගෙදර කරදරකාර කෘමි සත්තුන්ගෙන් බේරා ගන්න ස්වභාවික සංයෝග 4ක්

තමන් ඉන්න කාමරේ හරි ගෙදර හරි මොන තරම් අතු පතු ගාල පිළිවෙලට තියා ගන්න හැදුවත් කෘමි සත්තුන්ගෙන් තියෙන්නේ පුදුම වදයක් කියන එක කවුරුත් දන්නවා. විශේෂයෙන්ම මදුරුවන්, පලතුරු කෝඳුරුවන්, මැස්සන් සහ කූඹි වගේ කරදරකාරී සත්තු බහුලයි. ඔය අතරේ කැරපොත්තෝ, මකුණෝ වගේ සත්තුත් ඉද්දි එපා වෙනවා. මකුළු දැල් කියන්නෙත් කොච්චර කඩලා දැම්මත් දවස් කිහිපයෙන් ආපහු බඳින කරදරකාර ප‍්‍රශ්නයක්.

මේ හැම දේකින්ම බේරෙන්න හදපු නිෂ්පාදන නම්  ඕන තරම්. හැබැයි ඒවා බොහොමයක ගහලාම තියෙනවා ඒවා විෂයි කියලා. පරිස්සමෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් නිතර මේවා හුස්ම ගන්න, ගේ ඇතුලේ තියා ගන්න එහෙම හොඳ නැහැ. විශේෂයෙන්ම සුරතල් සතුන් සහ පුංචි දරුවන් ඉන්න ගෙවල් වල මේ විෂ ද‍්‍රව්‍ය තියා ගෙන ඉන්න එක බොහොම භයානක වැඩක්.

නමුත් අද අපි කියන්න යන්නේ කිසිම විෂක් නැති ස්වභාවික දේවල් කිහිපයක් පාවිච්චි කරලා මේ කරදරකාරී සතුන් එළවලා දාන විදිහ ගැනයි.  ඕනෑම ගෙදරක මේවා කිසි බයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

දාස්පෙති

ගොඩක් දෙනා ආසයි වත්තේ මල් වවන්න. ඒ තරම් ලස්සන නැති වුණත් මල් වත්තේ පුළුවන් නම් දාස්පෙති මල් ටිකක් වවන්න බලන්න. දාස් පෙති මල් වලින් බොහෝ කෘමි සත්තු ලේසියෙන් පළවා හරින්න පුළුවන්. තවත් දෙයක් තමයි දාස්පෙති මල් ටිකක් පොඩි කරලා ගෙදර තියෙන ජනෙල් උළුවහු හා ලී බඩු වල ගාන එක. මේකෙන් ලී බඩු වලට හානි කරන වේයන් වගේ සත්තුන්ගේ කරදරෙනුත් බේරෙන්න පුළුවන්.

පැගිරි තෙල්

පැගිරි තෙල් වලින් මදුරුවන් පළවා හරින බව ගොඩක් දෙනා දන්නවා. දැන් වැස්ස කාලෙත් ඇවිත් තියෙන්නේ. පහුගිය දවස් වල ගංවතුර එක්ක හැම තැනම බෝ වුණු මදුරුවන්ගෙන් පරිස්සම් වෙන්න  ඕනේ. මදුරු කොයිල් හරි වේපරයිසර් හරි පාවිච්චි කරනවා වෙනුවට ලේසිම, ආරක්ෂිතම වැඬේ තමයි පැගිරි ලෙලි ටිකක් අරගෙන ඇගේ ගා ගන්න එක. ඒ වගේම තමයි පැගිරි බොහෝ කුඩා සතුන්ට විෂයි. මේ නිසා පැගිරි ටිකක් බිත්ති වල එහෙම ගාල තිබ්බොත් මකුළුවන්ගෙන් තියෙන කරදරයත් අඩු කර ගන්න පුළුවන්.

පෙපර්මින්ට් තෙල්

පෙපර්මින්ට් තෙල් ටිකක් උණු වතුරේ කවලම් කරලා පරණ පර්ෆියුම් බෝතලයකට හරි එයාර් ෆ්රෙශ්නර් බෝතලයකට හරි දාල තියා ගන්න. කැරපොත්තෝ කුරුමිණියෝ ඇතුළු  ඕනෑම සතෙක් දැක්කොත් මේක ටිකක් හොලවලා කෙලින්ම ඒ සතාගේ ඇගට විදින්න. උන් නිතර ගැවසෙන තැන් වලටත් ගහලා තියන්න. මේ පෙපර්මින්ට් තෙල් උන්ට විෂ නිසා උන් නිසැකවම ගේ අතහැරලා යනවා.

විනාකිරි

විනාකිරි කියන්නෙත් සත්තුන්ගෙන් බේරෙන්න තියන හොඳම සංයෝගයක්. කලින් කිව්වා වගේම ස්පේ‍්‍ර කරන්න පුළුවන් බෝතලයකට හරි රෙදි කෑල්ලක් පො වලා අරගෙන හරි මකුළු දැල් නිතර බඳින තැන් වල ගෑවම ආයේ සති ගානකට එතන මකුළු දැල් බඳින්නේ නැහැ. දැනටමත් වේයන් ගහලා ලී කුඩු එලියට එන උළුවහු, ලී බඩු එහෙම තියනවා නම් ඒ ඇතුළට විනාකිරි විදින්න. ඒකෙන් වේයන් නිසා තවදුරටත් හානි වෙන එක වළක්වා ගන්න.

- මීට අමතරව ලෙමන්, කරාඹු නැටි සහ දොඩම් තෙල් වුණත් කෘමීන් අකමැතිම සංයෝග, කෘමි සත්තුන්ගේ වදයෙන් බේරෙන්න ඒවත් පවිච්ච්චි කරන්න පුළුවන්.

- ගෙදර දොර යට හිඩැසක් තියනවා නම් ඒ දිගට ගම්මිරිස් කුඩු ටිකක් ඉහින්න. එහෙම කළාම දොර යටින් ගෙට ඇතුළු වෙන බඩගාන සත්තු ඔක්කොගෙන්ම බේරෙන්න පුළුවන්.

- පිපිඤ්ඤා පෙති මිරිකලා ස්පේ‍්‍ර කරාම කුහුඹි ඒ පැත්තටවත් එන්නේ නැහැ. සීනි කිරිපිටි එහෙම තියෙන මේසෙට මේක ස්පේ‍්‍ර කරන්න. පිපිඤ්ඤා පෙත්තක් අරගෙන සීනි බෝතලේ වටේ ගෑවත් හරි.

- මින්ට් හෝ කොහොඹ කොළ ටිකක් අරගෙන පොල් කටු අගුරු තියන භාජනයක් උඩට දාල තියන්න. මේ එන දුමට පියාඹන සතුන් සේරම ඉවත් වෙලා යනවා.

ඉතින් පේනවා නේද පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් දේවල් වලින් ගෙදර පිරිසිදුව තියා ගන්න විදිහ. ලොකුවට වියදම් කරලා ගේ ඇතුලේ විෂ පුරවා ගන්න  ඕනේ නැහැ. අපි නිතරම පාවිච්චි කරන දේවල් බොහෝ වෙලාවට හොඳටම ප‍්‍රමාණවත්.

No comments