විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ගැන ඔබත් අදම දැනුවත් වෙන්න


ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම 5ක් ඇත. එය පංච කර්ම නමින් හැඳින්වේ. මේ ප්‍රතිකාර ක්‍රම මඟින් සෑම කෙනකුගේම ගතට සිතට මනසට වැලඳෙන්නාවූ සෑම රෝගාබාධවලට ක්‍රමවේදීව පැවැත එන්නා වූ ප්‍රත්‍යක්ෂ සුවිශේෂී ඔෟෂධ මාලාවකි.



රෝගියකුට ඕනෑම චිකිත්සාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් මේ කරුණු කාරණා සම්පූර්ණ විය යුතුයි.
ඉතාම ගුණවත් හොඳ දැනුමක් ඇති ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු කරුණාවන්ත වෛද්‍යවරයකු විය යුතුයි.
ඉතාම ගුණයෙන් සපිරි හොඳම ඔෟෂධ විය යුතුයි.
කරුණාවන්ත කඩිසර ඉවසිලිවන්ත උපස්ථාදායකයකු සිටිය යුතුයි.
ගුණවත් රෝගියකු විය යුතුයි.

(පෙර පින් කළ රෝගියකු නම් ඉක්මන් සුවය ලැබේ. පෙර පව් කළ කෙනෙක් නම් කල්ගත වේ.)

වෛද්‍යවරයා රෝගියා සමඟ සුහද විය යුතුයි. වෛද්‍යවරයා නැණවත්, ගුණවත් ශාස්ත්‍රය මැනවින් දත් අයකු විය යුතුයි. ඔෟෂධ ගැන මනා දැනීමක් තිබිය යුතුයි.

උපස්ථාදායකයාද පිරිසුදු කරුණාවන්ත දක්ෂ කඩිසර සේවය පිළිබඳ මනා දැනීමක් ඇති ඉවසිලිවන්ත පුද්ගලයකු විය යුතුයි. (විශේෂයෙන් මානසික රෝගීන්ගේ කෑ ගැසීම් බැන වැදීම් ආදී ඒ සියල්ලම ඉවසා දරා ගැනීමට ශක්තිය තිබිය යුතුයි. රෝගියා සමඟ සුහදශීලී විය යුතුයි. එවිට දරුණු රෝගියකු වුවද කීකරු බවට පත්වේ.

රෝගියාද වෙද අණට කීකරු වේදනාවන් දරා ගැනීමට හැකි අයකු විය යුතුයි. මේ චතුස්පාදය සම්පූර්ණ වූයේ නම් චිකිත්සාවද අනිවාර්යයෙන්ම සඵල වේ. රෝගියාගේ රෝග ලක්ෂණවල ස්වභාවයට අවශ්‍ය ප්‍රතිකාර දක්ෂ උගත් වෛද්‍යවරයාට දැනගැනීමට පුළුවන.

වමනය කරවීම
නහයට තෙල් ඔෟෂධ වර්ග උරවා කුපිත වූ සෙම පිට කිරීම.
ගුද මාර්ගයෙන් ඔෟෂධ වර්ග වස්ති කොට අපවිත්‍ර මල පහ පිට කිරීම.
ඔෟෂධ වර්ග බීමට දීමෙන් බඩ විරේකය.
මුළු ශරීරයේම තෙල් ගැල්වීම.
තෙල් ඔෟෂධ මිශ්‍ර ඔරුවල බහා සිටීම.
බෙහෙත් ඔෟෂධ මල් වර්ග තම්බා වාෂ්පය ඇල්ලීමෙන් මැනවින් දහදිය පිටවේ. මින් ශරීරයට බර ගතිය නැතිවේ. සියලුම අවයවයන් කෝමලත්වයට පත්වේ. ශරීරයට සැප ගෙන දේ.

මුහුණට හුමාලය අල්ලා (ඉඟුරු කොත්තමල්ලි තම්බා) ඔෟෂධ තෙල් උරා කිරිබත් පොට්ටිනිවලින් තවා සෙම ගිය පසුව හිස බර ගතිය, ඇස් අමාරු, හිස, මුඛය, කන ආදී ඉන්ද්‍රියන්ගේ විශුද්ධියක් ඇති කරයි. දසරුවෙන් උඩ ඉන්ද්‍රියන්ගේ රෝග සුවය, සිරස ප්‍රදේශයේ සැහැල්ලු බව, මනසේ නිරවුල් බව, ඇස්වල පෙනීමේ ශක්තිය වැඩිවීම, කටහඬ මිහිරිවීම, මුහුණ ප්‍රසන්නභාවය ශෝභාත්මක භාවය, හිසරුදා රෝග මින් දුරුවේ.

උන්මත්තකයකු වූ රෝගියකුට නම් කීප දිනක්ම හිසට ඔෟෂධ ගල්වා (හිස කුඩුච්චිය) කාල සීමාවක් ඇතුළත එය අස්කර ස්නානය කළ යුතුයි. එසේ කීප දිනක් කළ පසු තෙල් නස්‍ය කළ යුතුයි. මෙය ඉතාමත් උගත් වෛද්‍යවරයකු විසින් සිදු කළ යුතුව ඇත. කුපිත වූ දූෂිත සෙම ගිය පසු රෝගියා සැපයට පත්වේ.

තද ගතියට බැඳී තිබූ සෙම හිසට තෙල් ගා සම්බාහනය කිරීම, කිරිබත් පොට්ටනිවලින් තැවීම වාෂ්පය ඇල්ලීම වැනි දේ ක්‍රියා කරන විට දූෂිත වූ කුපිත වූ සෙම බුරුල් වී පිටවේ. කඳුළු, කැස්ස වමනය පවා සිදුවේ.
වමනය කරවීමෙන් ඉහතදී සියලුම ලක්ෂණ ඇති වේ. අග්නි දීප්තිය, පිපාසාව, හොඳින් නින්ද යෑම සිදුවේ.

ඔෟෂධ මඟින් බඩ විරේක වූ විට ඉහත කී සියලුම ලක්ෂණ ඇතිවේ. ශරීරයේ සැහැල්ලු බව, නීරෝගී බව ආහාර රුචිය වර්ධනය, පසිඳුරන් සහ මනස පවිත්‍රතාව යන ලක්ෂණ ඇති වේ. ඇඟ රිදුම් කොන්දේ අමාරු පවා දුරුවේ.

වස්ති කිරීමෙන් ද ඒ දේවල්ම සිදුවේ. ත්‍රිදෝෂ සමනය වේ.

රක්ත මෝක්ෂණයෙන් කරනුයේ අපිරිසුදු ලෙය පිට කිරීමයි. එයට කහ දියරයෙන් විෂ නැසූ කූඩැල්ලන් එම ස්ථානයට (පළා අයින් කිරීමට අපහසු තැනක ලේ සැරව පිරුණු ගෙඩියක්) සිදුරු කර විෂ මැරූ කූඩැල්ලාගේ මුඛය ලේ ඉරීමට සැලසෙන පරිදි තබා කූඩැල්ලාගේ පිටට තෙත රෙදි කඩක් දැමීමය. එය වරින් වර තෙත් කළ යුතුයි. ඒ සියලුම දූෂිත වූ අපවිත්‍ර සියලුම ලේ සැරව උරාගත් කූඩැල්ලාව ගැලවී වැටේ. මිනිසාට උදවු කළ කූඩැල්ලා මත්වී සිටින්නේ මිනිසාගේ ගෙඩියේ තිබූ ජරාව කූඩැල්ලාගේ ශරීරගත වීමෙනි. එවිට ලුණු කැටයකින් උගේ පිට පිරිමැදීමෙන් අපවිත්‍ර ද්‍රව්‍ය වමාරනු ලැබේ.

ඉන්පසු එම සතාව පිරිසුදු ජලාශයකට ගෙනගොස් දැමිය යුතුමය. එය කෙළෙහිගුණයකි.

මේ අපවිත්‍ර වූ දූෂිත වූ ජරා ලේ සැරව පිට වූ රෝගියාගේ වේදනාව දුරු වී ගත සිත ප්‍රබෝධවත් වේ. දෙවනුව ලේ උරා බිවූ මුඛයට බේත තැබිය යුතුයි. මේ රෝගියාට වෙනිවැල්ගැට සුදුළුෑනු, නිමුල් තම්බා දිය යුතුමය. මෙය ආදි කාලයේ මුතුන් මිත්තන්ගෙන් සිට පැවැත එන්නාවූ වෙදකමකි.

මේ විශේෂිත වූ පංචකර්ම චිකිත්සා ක්‍රමවේදයෙන් රෝගියා සුවපත් වේ. සතුටට පත්වේ. සැපතට පත්වේ.

නොයෙකුත් ඔෟෂධ වර්ගවල එනම් බෙලි කොළ, සූරිය කොළ, සමන් පිච්ච, පේර, එරඬුකොළ, වෙනිවැල්ගැට, නිදිකුම්බා, පින්න, කීකිරිදිය ආදි ඔෟෂධ කොළ වර්ගවලින් තමන්ට සොයා ගැනීමට හැකි ඔෟෂධ වර්ගයක් කහ දමා තම්බා මඳ රස්නයෙන් කොළ මිටක් ගෙන ශරීරය තවා ගතයුතුයි. ඒ ඔෟෂධවලින්ම ඇඟ සේදිය යුතුයි. මෙය කිරීමෙන් රෝගියාගේ ශරීරයේ වේදනා කැක්කුම් සමනය වේ. අත්පා කොන්ද කැක්කුම ඇති අයට මෙය ඉතාමත්ම සුවිශේෂ වූ ක්‍රමවේදයකි. මෙය විශේෂයෙන් උදයවරුවේ කළ යුතුයි. වතුර හොඳින් පිස දමා ඔෟෂධ තෙල් වර්ග ගල්වා සම්බාහනය කළ යුතුයි. තැවිලි පොට්ටනිවලින් තැවීමද කරනු ලැබේ. මින් රෝගියා සැපතට පත්වේ. ශරීරය ලිහිල් වේ. බර ගතිය නැතිවේ. වේදනා දුරුවේ. වේදනා දුරු වූ විට මනසටද සුවය ලැබේ. සුව නින්දක් ලැබේ.

ශරීරයෙන් ඉබේම ස්වාභාවිකව පිටවන අනවශ්‍ය දේවල් ඇත. නාසයෙන් සෙම, කනෙන් කලාඳුරු, හම තුළින් දහදිය, මුත්‍රා මාර්ගයෙන් මුත්‍රා ලෙසද මල මාර්ගයෙන් මල ලෙසටද පිටවේ.

පංච කර්ම චිකිත්සාව මඟින් ඒ ඒ දේවල් උත්තේජනය කර අනවශ්‍ය දූෂිත වූ වා පිත් සෙම් ත්‍රිදෝෂ බැහැර කරවයි. මල මුත්‍රාද බැහැර කරවයි.
හිසට (ශිරෝධාර) තෙල් ගැල්වීමෙන් රෝග කීපයකට ගුණදායකය. සුව නොවන හිසරදයට හුමාලය අල්ලා හිසට තෙල් සම්බාහනය කර නාසයට තෙල් උරා සෙම ඇරීමෙන් කල්ගත වූ හිසරදය සුවපත් වේ. මෙය හිදරය ඇති සෑම කෙනෙකුටම සුදුසු නැත. දක්ෂ වෛද්‍යවරයා එය කිරීමට සුදුසු රෝගියාව තෝරාගෙන එය කරනු ලැබේ. පීනස වැනි රෝගීන්ට කෂාය වර්ග හිසට තෙල් වර්ග දෙනු ලැබේ. ඔහුගේ රෝග තත්ත්වය බලා සුදුසු නම් පමණක් නස්‍ය කරනු ලැබේ.

දෙවියන්ගෙන්, ඍෂිවරුන්ගෙන්, රාවණා රජුගෙන් යක්ෂ ගෝත්‍රිකයන්ගෙන්, පැරැණි මුතුන් මිත්තන්ගෙන් මේ නොයෙකුත් විකිත්සා ක්‍රම පැවැත එන බව පැරැණි ග්‍රන්ථවල සඳහන් වේ. මේ හෙළ වෙදකම ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට අපේ මුතුන් මිත්තන් සියලුම දෙනාටම පින්දිය යුතුයි.

අෂ්ටාංග ආයුර්වේදයේ භූත කර්ම කියා කොටසක් ඇත. කොතරම් ප්‍රතිකාර කළත් සුව නොවන රෝගීන් සිටී.


ඒ අයට කළ යුත්තේ ඕනෑම කෙනකුගේ පෙර පින් පව් ලියැවී ඇති කේන්ද්‍රය බලා ඇදුරකු ලවා තුන්‍ෙදාස් කපා (දෙහි කැපීම) ආරක්ෂා කිරීමයි.

තවද නිරෝගීව සිටීමට නම් යෝග භාවනා වැඩිම පුරුදු විය යුතුයි. ආනාපාන සතියෙන් සිත එකඟ කරගත යුතුයි. යෝග ව්‍යායාම සඳහා දක්ෂ යෝගී ගුරුවරයන් යටතේ පුහුණු විය යුතුයි. වයස අනුව කළ යුතු එක් එක් වෙනස් භාවනා සේම ව්‍යායාමත් ඇත. මින් මනස ශරීරය සුවපත් වේ.

යෝග භාවනා කොට සිත සුවපත් කළ තැනැත්තා නිතැතින්ම නිරෝගී සිරුරක් හිමි කෙනෙක් බවට පත්වේ. වයසට ගියත් වයස නොපෙනේ. සැමදාම තාරුණ්‍යය රැකගනී. යෝග භාවනාවේ ඇති විශිෂ්ටතම කුණ්ඩලිනි යෝග භාවනාව වැඩීමෙන් මුළු ශරීරයේම ස්නායු පද්ධතිය අවදි වී ශරීරයේ ලේ පිරිසුදු වී ඉතාම රූමත් අයකු බවට පත්වේ. නිරෝගී සිරුරක් හිමිවේ.

මේ සියලුම ප්‍රතිකාර දහදිය දැමීමට සැලැස්වීම (ඔෟෂධ තම්බාගත් ජලයෙන් වාෂ්ප ඇල්ලීම) තෙල් ඔරුවක සිටීම, පොට්ටනිවලින් තැවීම, ඔෟෂධ ගල්වා තැබීම අපවිත්‍ර දේ ශරීරයෙන් පිට කිරීම තෙල් වර්ග සම්බාහනය කිරීම ඇතුළු පංච කර්ම සුවිශේෂී වූ ක්‍රමවේදය නිසියාකාරව නිසි පිළිවෙළට කිරීමෙන් ඕනෑම රෝගියකු සුවපත් වේ.

වෛද්‍ය නිලූ ජාගොඩආරච්චි
පින්හේන - බේරුවල

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments