ඩෙංගු රෝගයෙන් බේරෙන හැටි මෙන්න


ගිනියම් අව්වෙන් රටම දැවී ගිය ඉක්බිති කරුණා බරිත යැයි පෙනුණු මහ වැස්සක් ඇද වැටුණේය. එහෙත් එසේ නොවූ ඒ මහ වැස්සෙන් උපන් ගං වතුරින් රටම පීඩාවට පත්වූයේය. ගං වතුර බැස ගිය ද අවසන් නොවූ කරදර දැන් ‘ඩෙංගු’ ලෙසින් සිය රුව වෙනස් කරගෙන පැමිණ සිටින්නේය.
සෞඛ්‍ය අංශවලට අනුව නම් දැන් කොළඹ තිබෙන්නේ ‘ඩෙංගු අධිවසංගත තත්ත්වයකි.’ රට පුරාම ඩෙංගු මරණ තිහකටත් වැඩිය. පරෙස්සම සැලකිල්ල ඩෙංගු ගොදුරක් වීමේ අවදානම අඩු කරනමුත් බොහෝ දෙනාගෙන් සිදුවන අඩුපාඩුව ද එයම ය. ‘සිහිකැඳවීම’ අඩුපාඩු මගහැරවීමට හේතුවන නිසාම අපි ඩෙංගු ගැන හොඳින් දන්නා කෙනකුගේ උපදෙස් සමගම ‘ඩෙංගු සිහිකැඳවීම’ට ඉඩ වෙන් කළෙමු.
අංගොඩ මූලික රෝහ‍ලේ (අයි.ඩී.එච්.) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හා අපි කතා කළෙමු. ඩෙංගු සුවපත් කරවා ගන්නට දුර බැහැර සිට පවා රෝගීන් අයි.ඩී.එච්. රෝහලට පැමිණෙන බව නිසාම නොවේ. වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයන්ගේ සේවාව ගැන ප්‍රශංසාත්මක කතා ද ඇසෙන නිසාය.



කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
කායික රෝග විශේෂඥ
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

“අවුරුද්දේ මැයි – ජුනි මාසවලදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපි බලා‍පොරොත්තු වෙනවා. මෝසම් වැසි කාලය පටන් ගැනීම තමයි ඒකට හේතුව. මේ අවුරුද්දේ පසුගිය අවුරුදුවලට වඩා ‍පොඩි වැඩි වීමක් පෙනෙන්න තියෙන්නේ පසුගිය මාසේ ඇති වුණු ගංවතුර නිසා කියලා හිතන්න පුළුවන්. ගංවතුරෙන් පස්සේ කැළි කසළ එකතුවීම, ඒත් ඉවත් කිරීමට ප්‍රමාදවීම වගේ හේතු නිසා ඩෙංගු පැතිරීම වැඩිවුණා කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ මේ තත්ත්වය තියෙනවා.”
“ඩෙංගු පැතිරීම වැඩිවෙලා තිබුණත් ඩෙංගු වැලඳිලා මුල් දින දෙක තුන ඇතුළත හඳුනාගත්තොත් ඩෙංගු නිසා ඇතිවන සංකූලතා අවමකර ගන්න පුළුවන්. තද උණ, තද හිසරදය, වමනය, ඇඟපත වේදනාව තමයි ඩෙංගු උණ වැලඳුණොත් මතුවෙන සාමාන්‍ය රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ සමහර විට වෙනත් වෛරස් උණකදී වුණත් තියෙන්නට පුළුවන්. එහෙම වුණත් වෙනත් වෛරස් උණත් දින තුනක් විතර යද්දි අඩුවෙලා යනවා. ඩෙංගු උණ වැලඳුණොත් දින තුනක් හෝ ඊටත් වැඩි දින ගණනක් උණ පවතින්න පුළුවන්.”
ඩෙංගු උණ තිබේදැයි සැක මතුකර ගැනීමට මෙවන් අපහසුතා සහ රෝග ලක්ෂණ හේතු වෙනවා සේම මේ රෝග ලක්ෂණ සමගම තවත් අපහසුතා ඩෙංගු රෝගියකුට ඇති විය හැකි බවද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

“හුස්ම ගැනීමේ අපහසුවක්, සෙම ගතියක්, රිදීමක් සමග බඩ පිපුමක්, මූත්‍රා පහවීම අඩුවීමක්, දියරමය මලපහ කිරීමක් වැනි තත්ත්වයක්, ඇතැම් අයට තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ජීවත්වන ප්‍රදේශයේ ඩෙංගු පැතිරීමේ අවදානම වැඩිනම් මෙවැනි රෝග ලක්ෂණ ගැනත් සැලකිල්ලෙන් සිටීම වැදගත්. ඩෙංගු උණ වැලඳිලා තියෙනවාද කියලා නිශ්චිතවම හඳුනාගන්න පුළුවන් වෙන්නේ රුධිර පරීක්ෂාවකින් පමණයි. සාමාන්‍යයෙන් ලැබෙන වෛද්‍ය උපදෙස වෙන්නේ දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් තුන්වැනි දවසේ රුධිර පරීක්ෂාවක් කර ගන්න කියන එකයි. රුධිර පරීක්ෂාව කළාට පස්සේ රුධිර පට්ටිකා අඩුවීමක් තියෙනවා නම් රෝහල්ගත වීම වඩාත් හොඳයි.

“සමහර රෝගීන් තුන් වැනි දවසේ කරන රුධිර පරීක්ෂාවකින් රුධිර පට්ටිකාවල වෙනසක් නොපෙන්වනවා වෙන්න පුළුවන්. මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි උණ පවතිද්දීත් තුන් වැනි දවසේ කරන රුධිර පරීක්ෂාවක වෙනසක් නැති වුණොත් හතර වැනි දවසේත් රුධිර පරීක්ෂාවක් කරලා බලන එක. හතර වැනි දවසේදී රුධිර පට්ටිකාවල පැහැදිලි අඩුවීමක් තියෙන්න පුළුවන්.”
ඒ කියැවුණේ අප බොහෝ දෙනා මතෛක් නොදැන සිටි කතාවකි. මේ උපදෙස, ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වාලන්නක්මය.
“අනෙක් වැදගත් දේ, උණ සහ ඇඟපත වේදනාවට ලබා ගන්නා ඖෂධ ගැන දැන සිටීමයි. උණට සහ ඇඟපත වේදනාවට පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් ගන්න එපා. පැරසිටමෝල්වලින් සුවයක් නොදැනෙද්දී ඇතැම් අය වෙනත් ඖෂධවලට යොමු වෙනවා. එවිට ඇති වෙන බරපතළම තත්ත්වය තමයි සංකූලතා ඇති වෙන තෙක්ම රෝගියා රෝහලට නොපැමිණීමෙන් ඇතිවන අවදානම. අවාසනාවට ඇතැම් වෛද්‍යවරුත් පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ උණ රෝගීන්ට නිර්දේශ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඩෙංගු උණ පැතිරීමේ අවදානමක් තියෙන මේ වගේ කාලයක එවැනි දෙයින් වැළකීම හොඳයි කියන එකයි මගේ මතය.”
“ඩෙංගු පැතිරෙන මේ වගේ කඩින් කඩ වැසි සහිත කාලයකදී ඩෙංගුවලින් වඩා ප්‍රවේශම් විය යුතු අය තමයි ගර්භණී මව්වරු, ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අය. මොකද මේ අයට සංකූලතා ඇතිවීමේ අවදානම සාමාන්‍ය අයට වඩා ටිකක් ඉහළයි. ඒ නිසා උණ වැලඳුණොත් ගර්භණී මවක් නම් පළමු දිනයේදීම රුධිර පරීක්ෂාවක් කර ගැනීම වඩාත් හොඳයි. ඒ රුධිර පරීක්ෂණ වාර්තාවල වෙනසක් නැති වුණත් නොකඩවා දින දෙක තුනක්වත් රුධිර පරීක්ෂාවන් කර ගන්න. ගර්භණී මවකට ඩෙංගු වැලඳුනොත් දරුවාට බලපෑමක් සිදුවෙනවා කියන බයකුත් හුඟක් අයට තියෙනවා. එවැනි බියක් නම් ඇතිකර ගත් යුතු නැහැ. ඔවුන් අනෙක් අයට වඩා පරෙස්සම් විය යුතු වන්නේ සංකූලතා ඇති වීම වළක්වා ගත යුතු නිසයි.”
“ඩෙංගු රෝගයේ සංකූලතාවලින් කවුරුත් දන්න බහුලම සංකූලතාව තමයි ඩෙංගු රක්තපාත කියන්නේ. අභ්‍යන්තර රුධිර ගලනයන් ඩෙංගු රක්තපාත තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. මීට අමතරව ප්ලාස්මා තරලය රුධිර නාළවලින් පිටතට පැමිණීම නිසා ශරීරයේ රුධිර පීඩනය අඩුවීමක් වුණත් සිදු වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති වුණොත් අවයවවලට රුධිර සැපයුම අඩුවීමෙන් තමයි ගැටලු ඇති වෙන්නේ.”
“සමහර අය හිතාගෙන ඉන්නවා රුධිර පට්ටිකා අඩුවීම නිසයි ඩෙංගු රෝගීන් මිය යන්නේ කියලා. ඒක වැරදි මතයක්. සාමාන්‍යයෙන් ඩෙංගු උණ වැලඳුණාම රෝගියාගේ රුධිර පට්ටිකා අඩුවෙමින් යනවා තමයි. රුධිර පට්ටිකා 130 ක් විතර වෙනතුරු අඩුවෙන්න පුළුවන්. පසුව, උණ වැලඳිලා හත්වන හෝ අටවන දිනය වෙද්දී නියත වශයෙන්ම ස්වභාවිකවම රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවෙනවා. එයට බාහිරින් බලපෑමක් වුවමනා වෙන්නේ නැහැ.”
ඩෙංගු රෝගියකුට වෙදකම හා සමානවම හෙදකම ද වැදගත් බව වෛද්‍ය විජේවික්‍රම පවසයි. අයි.ඩී.එච්. රෝහ‍ලේදී නම් රෝගීන්ට හෙදකම ලැබෙන්නේ ඩෙංගු කළමනාකරණය වෙනුවෙන් විශේෂයෙන්ම පුහුණු වූ හෙද කාර්ය මණ්ඩලයකිනි.
“ඩෙංගු උණ වැලඳිලා ඉන්න කාලය තුළ ඇඳ විවේකය අත්‍යවශ්‍යයි. ඇඳ විවේකය නොලබා වෙහෙසවීම සංකූලතා ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම දියර වර්ග වැඩිපුර පානය කළ යුතුයි. තැඹිලි, කැඳ, සුප්, දෙහි යුෂ, ජීවනී, කොළ ඇපල් යුෂ, දොඩම් යුෂ වැනි දේ සුදුසුයි. පලතුරු යුෂ ලබා දීමේදී ඒවායේ නැවුම් බව ගැන සැලකිලිමත් විය යුතුයි. සකස් කරලා හැකි ඉක්මනින් රෝගියාට ලබාදීම තමයි වඩා සුදුසු.”
“රෝගියෙක් රෝහල් ගත වුණාට පස්සේ නම් දියර වර්ග පානයට ලබා දෙන්නේ මැනලා. ඒ වගේම පැය හයකට වරක් රුධිර පරීක්ෂාවකුත්  සිදුකරනවා. රුධිර පීඩනය ගැන අපි නිරතුරුව අවධානයෙන් ඉන්නේ. මේ දේවල් ගැන අවධානයෙන් සිටීමෙන් රෝගීන්ට සංකූලතා ඇතිවීම වළක්වා ගන්නත්, සංකූලතා ඇති වුණොත් ඉතා ඉක්මනින් ප්‍රතිකාර කරන්නත් අපට පුළුවන්.”
ඩෙංගු වැලඳීමෙන් අවදානම් තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමට හොඳම විසඳුම හැකි ඉක්මනින් රෝහල්ගත වීමය. ඩෙංගුත් සමග දැනෙන අපහසුතා ගැන අවධානයෙන් සිටීම ඩෙංගු පැරදිය හැකි හොඳම මගයි.
“ඩෙංගු රෝගියකුට විවේකය වුවමනා වෙන්නේ රෝගීව සිටින කාලය තුළ පමණයි. සුව වෙලා නිවසට ගියාට පස්සේ වෙනදා විදියට වැඩ කටයුතු කරගන්න හුරුවෙන්න පුළුවන්. සමහරු හිතනවා ඩෙංගු වැලඳුණු කෙනෙක් සුව වීමෙන් පසුවත් මාසයක් විතර විවේක ගන්න ඕන කියලා. මගේ අදහස නම් රෝගීව සිටින කාලය තුළදී ඉතාම හොඳින් විවේකීව සිටීමයි වැදගත්. ඒ වගේම දැනට අපි හඳුනාගෙන තියෙන තත්ත්වවල හැටියට නම් එක් වරක් ඩෙංගු වැලඳුණු කෙනකුට තවත් වරක් ඩෙංගු වැලඳුණොත් සංකූලතා ඇතිවීමේ අවදානම ටිකක් ඉහළයි. සංකූලතා ඇතිවීම රෝගියාගෙන් රෝගියාට වෙනස්. ඒ නිසා එක් අයකුගේ තත්ත්වය තවත් කෙනකුගේ තත්ත්වය එකක සැසඳීම අපහසුයි. වැදගත් දේ තමන්ගේ අවට පරිසරය ගැන සැලකිලිමත් වීම සහ තමන් ගැන සැලකිලිමත් වීමයි. මුල් දිනවලදීම හඳුනාගැනීම තමන්ට ඇතිවන අපහසුතා වගේම අවදානම අඩු කරගන්න පුළුවන් බව නැවත නැවත මතක් කළ යුතුයි.”
‘ඩෙංගු’ අපේම නොසැලකිල්ලෙන් උපදින්නකි. ඩෙංගු වළකාගත හැක්කේ ද අපටමය. දෙවිවරුන්වන් වෙදවරු ඔබ අප රැක ගන්නට දිවා රෑ නොබලා වෙහෙසෙන මුත් ඒ කෙරෙහි අපගේ ඇති ‘සැලකිල්ල” පරෙස්සම’ ඔවුන්ගේ කැපවීමට තවත් අගයක් එක් කරනු ඇත.

නෙලූෂා සිල්වා | (ඡායාරූප: කැලුම් සී. නෙළුම්දෙණිය)

No comments