ක්ෂණික නූඩ්ල්ස් මේ තරම් නපුරක් කරන බව - ඔබ දැන සිටියද?
කඩිමුඩියේ පිළි යෙල කර ගත හැකි ආහාරයක් ලෙස ප‍්‍රකට නුඞ්ල්ස් මෑත සති කිහිපයේ ඉන්දියාවේ හා වෙනත් ආසියානු රටවල මහත් ආන්දෝලනයට ලක් වුණා. මේ වන විට ඉන්දියාව පුරා එය තහනම් කොට තිබෙනවා.
මොකක්ද මෙහි පසුබිම් කතාව? එක් ආහාර වෙළඳ නාමයකට හෝ වර්ගයකට හෝ සීමා නොවී මේ සිදුවීම් මාලාවෙන් ගත හැකි පොදු පාඩම් තිබේද? ඇත්තටම අප කන බොන බොහෝ ආහාර අපට දිගු කාලීනව කරන බලපෑම් ගැන අප ඇති තරම් දැනුවත් හා සංවේදී ද?
මැගී නූඞ්ල්ස් ඉන්දියාවේ අලෙවිය ඇරැුඹුණේ 1983දී. සිනමා තරු යොදා ගත් දැවැන්ත අලෙවිකරණයක් හරහා එය ප‍්‍රවර්ධනය කෙරුණා. කෙටි කලෙකින් එය එරට සමාජ තරාතිරම් හැම එකකම භාවිත වන ඉක්මන් ආහාරයක් (convenience food) බවට පත් වුණා.
තවත් ක්ෂණික නූඞ්ල්ස් වර්ග කිහිපයක්ම තිබුණත් ඉන්දියාවේ වෙළඳපොළෙන් 80%කට වඩා හිමි කර ගෙන සිටියේ නෙස්ලේ නම් ජාත්‍යන්තර සමාගම නිපදවන මැගී නූඞ්ල්ස් වර්ගයි. මැගී ප‍්‍රභේද 9ක් එරට අලෙවි කෙරුණා.
මැගී නූඞ්ල්ස් තුළ ශරීරයට අහිතකර ද්‍රව්‍ය තිබේදැයි රසායනාගාර පරීක්ෂණ ඇරඹුණේ මීට වසර එකහමාරකට පමණ පෙර. ක‍්‍රමානුකූලව කරන ලද මේ පරීක්ෂණවලින් තහවුරු වූයේ අනුමත උපරිම මට්ටම් බෙහෙවින් ඉක්මවා ගිය අන්දමේ ඊයම් ප‍්‍රමාණයක් එහි තිබෙන බවයි.
එසේම තම නිෂ්පාදනයේ මොනොසෝඩියම් ග්ලූටමේට් (MSG හෙවත් අජිනොමොටෝ) නම් රසකාරකය නැතැයි නිෂ්පාදක සමගම කීවත් සමහර සාම්පල්වල එය ද තිබූ බව සොයා ගැනුණා.
මේ අනුව පාරිභෝගික ආරක්ෂාව සඳහා මැගී නූඞ්ල්ස් අලෙවිය තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර ආරක්ෂාව හා ප‍්‍රමිතීන් පිළිබඳ අධිකාරිය (FSSAI) ජුනි මස මුලදී තීරණය කළා.
නෙස්ලේ සමාගම මේ තීරණයට එකඟ වූයේ නැහැ. ඉන්දියානු ආහාර ආරක්ෂණ නීතිරීති හා ප‍්‍රමිතීන් සියල්ලට තම සමාගම අනුකූල වී ඇති බවත්, එහෙත් නියාමන අධිකාරියේ තීරණයට අනුව මැගී නූඞ්ල්ස් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නා බවත් ඔවුන් ප‍්‍රකාශ කළා. ඒ අතර එම නියාමන තීරණය අධිකරණ මට්ටමින් ඔවුන් අභියෝග කොට තිබෙනවා.
ඉන්දියාවේ මේ සිදුවීම් ආසියාවේ අනෙකුත් රටවලටත් බලපෑමක් කළා. මාලදිවයින හා නේපාලය ඉක්මනින්ම මැගී නූඞ්ල්ස් රටට ගෙන ඒම හා රට තුළ අලෙවිය තාවකාලිකව තහනම් කළා. සිංගප්පූරුව ද ප‍්‍රවේශම්කාරී ප‍්‍රතිපත්තියක් අනුව අලෙවිය නැවත දැනුම් දෙනතුරු නතර කළා. මේ අතර බංගලාදේශය හා ශ‍්‍රී ලංකාව සිය රට තුළ අලෙවි කැරෙන මැගී නූඞ්ල්ස් සාම්පල් රසායනාගාර පරීක්ෂණවලට ලක් කළා.
ශ‍්‍රී ලංකා කාර්මික පර්යේෂණ ආයතනය (ITI), පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙරට වෙළඳපොළේ අලෙවි කැරෙන ක්ෂණික නූඞ්ල්ස් වර්ගවල ඊයම් මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බවයි. එනිසා එය භාවිතයෙන් අහිතකර සෞඛ්‍ය බලපෑමක් සිදුවීමට ඉඩක් නැතත්, මෙරට අලෙවි වන ආහාරපානවල තිබිය හැකි උපරිම ඊයම් (ක්ෂුද්‍ර) මට්ටම ගැන කිසිදු ප‍්‍රමිතියක් නීතිගත කර නැහැ. මේ නිසා ITI පරීක්ෂණ ප‍්‍රතිඵල සංසන්දනය කර ඇත්තේ මැලේසියාව, සිංගප්පූරු හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල අදාළ ප‍්‍රමිතීන් සමගයි.
ඒ අනුව ඊයම් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් එකකට මිලිග‍්‍රෑම් දශම තුනක් නොඉක්මවිය යුතුයි. (0.3mg/kg).
මෑතදී සෞඛ්‍ය හා පාරිභෝගික ආරක්ෂණ බලධාරීන් තීරණය කර ඇත්තේ මෙරටට පිටරටින් ගෙන එන සියලූ ක්ෂණික නූඞ්ල්ස් අලෙවියට පෙර ඊයම්, කැඞ්මියම්, රසදිය හා අනෙකුත් බැර ලෝහ මට්ටම් සඳහා නීතිගත පරීක්ෂාවට ලක්විය යුතු බවයි. එසේම රජය විසින් සියලූ ක්ෂණික නූඞ්ල්ස් වෙළඳ දැන්වීම් තාවකාලිකව නතර කොට තිබෙනවා.
මේ පරීක්ෂාවන්ට අමතරව MSG මෙරට අධික ලෙස භාවිත වීම ද නියාමන අධීක්ෂණයන්ට ලක් විය යුතුයි. MSG ආහාර රසකාරකයක් ලෙස බොහෝ අවන්හල්වල හා ආහාර විකුණන වෙළඳසැල්වල යොදා ගන්නවා. පාරිභෝගික ආරක්ෂාව ගැන දැඩි සැලකිල්ලක් දක්වන යුරෝපා රටවල් MSG භාවිතයට ඉඩදී ඇතත් එය නිරතුරු නිරීක්ෂණයට හා යම් ප‍්‍රමිතීන්ට යටත් වෙනවා. අපේ රටේ මෙතෙක් එවැනි සීමා නැහැ.
එසේම ක්ෂණික නූඞ්ල්ස්වලින් ඔබ්බට ගොස් නූතන ආහාරපාන රටාවන් දිගු කාලීනව සිදුකරන අහිතකර සෞඛ්‍ය බලපෑම් ගැන පුළුල් සමාජ සංවාදයක් කළ යුතුයි. මෙය එක් බහුජාතික සමාගමක ආහාර වර්ගයක් හෙළා දැකීමේ උද්ඝෝෂණයකට පමණක් සීමා නොවිය යුතුයි.
ආහාර ගැනීම පෞද්ගලික වූත්, සංස්කෘතික වූත් කාරියක්. තමන් කන බොන හැටි තම රුචි අරුචිකම් අනුව හා ආර්ථික මට්ටමට සරිලන පරිදි තීරණය කිරීමට පුද්ගල නිදහස තිබෙනවා.
එහෙත් ආහාර ගැනීමේ රටා නිසා කල්ගත වීමේදි දියවැඩියාව, හෘදය රෝග හා ආඝාතය (stroke) වැනි රෝග බහුල වන විට ඒවාට ප‍්‍රතිකාර කිරීමේ බරෙන් වැඩි කොටසක් පැටවෙන්නේ මහජන මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවාවටයි. මේ නිසා හැකි තාක් ජනතාව දැනුවත් කොට, හිතකර ආහාර රටාවලට යොමු කිරීමේ ලොකු සමාජයීය අවශ්‍යතාවක් තිබෙනවා.
පෙර කිසිදා නොකළ තරමට දකුණු ආසියාතික ජනයා දැන් මේදය, සීනි, ලූණු, රසකාරක(flavour enhancers) හා ආහාර කල් තබා ගැනීමට යොදන විවිධ රසායන ද්‍රව්‍ය (preservatives) අඩංගු වූ කල්තබා පිළියෙල කරන ලද ආහාර (processed food) කෑමට ගන්නවා. මේ ආහාර රටාවල විපාක දැනටමත් පෙනෙනවා. ස්ථුලභාවය හා දියවැඩියාව තරුණ වියේ මෙන්ම ළමා වියේ සිටින අය අතර ද හමු වනවා.
මේ ප‍්‍රවණතාවලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ආවේගශීලීව නූතන ආහාර රටා හෙළා දැකීමෙන් නොව විද්‍යාත්මක කරුණු එක් රැස් කොට, විශ්ලේෂණය හරහා ප‍්‍රතිවිපාක සමාජය පෙන්වා දීමෙන්.
ඉන්දියාවේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල ජනප‍්‍රිය වී ඇති කඩිනම් ආහාර (fastfood) වර්ග ගණනාවක් 2012දී විද්‍යාව හා පරිසරය පිළිබඳ ක්ෂේත‍්‍රය නම් ස්වාධීන පර්යේෂණායතනය Centre for Science and Environment, CSE) විසින් සිය රසායනාගාරයේ පරීක්ෂාවට ලක් කැරුණා. ෆ්‍රෙන්ට් ෆ‍්‍රයිස් හා පොටැටෝ චිප්ස් නම් අර්තාපල් පදනම් කර ගත් ආහාරත්, හැම්බර්ගර් හා පීට්සා විශේෂත්, ක්ෂණික නූඞ්ල්ස් වර්ගත් ඔවුන් විමර්ශනය කළා.
ඔවුන් සාක්ෂි සහිතව සොයා ගත්තේ ඒ සියල්ලේම ට‍්‍රාන්ස් ෆැට්ස් (trans fats, or transunsaturated fatty acids) නම් අහිතකර මේදයත්, ලූණුත් හිතකර මට්ටම්වලට වඩා බෙහෙවින් ඇති බවයි.
ආහාර අරබයා හිතකර මට්ටම් (safe limits) කියන්නේ කුමක්ද? යම් සුුළු මාත‍්‍රාවලින් ආහාරයේ ඇති සංඝටක ජීර්ණය කොට එක්කෝ බැහැර කිරීමට නැතිනම් අවශෝෂණයට ශරීරයට හැකියි. එහෙත් සීමා ඉක්ම වූ විට එම හැකියාව බිඳ වැටෙනවා. එසේම අහිතකර මට්ටම්වලින් නිතර එම සංඝටක ශරීරගත වන විට දිගු කාලීන නිදන්ගත රෝගවලට තුඩු දෙනවා.
සිය සොයා ගැනීම් ගැන CSE ආයතනයේ කර්මාන්ත හා පරිසරය ගැන ප‍්‍රධානී චන්ද්‍ර භූෂන් කිවේ, ‘මේ අහිතකර ආහාර බොහොමයක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන ආහාර සමාගම් විසින් නිෂ්පාදිතයි. ඒ වෙළෙඳනාම ලෝක ප‍්‍රසිද්ධයි. මේ සමාගම් ඇමරිකාවේ මෙම නිෂ්පාදනම අලෙවි කරන විට අන්තර්ගතය ගැන නිවැරදිව හා විස්තරාත්මකව ලේබල්වල තොරතුරු සඳහන් කරනවා. එහෙත් ආහාර ලේබල් කිරීම ගැන ලිහිල් නීතිරීති ඇති අපේ වැනි රටවල ඔවුන් එය යන්තමින් කරනවා. මේවාට එරෙහිව නඩු පැවරුවොත් ඔවුන් උසාවියේදී කියන්නේ රටේ නීතියට අනුකූලව ක‍්‍රියාකරන බවයි.’
මේ අනුව අහිතකර ආහාරවලින් පාරිභෝගිකයා රැුක ගන්නට මුල් පියවර ගත යුත්තේ අපේ රටවල නීති හා රෙගුලාසි වඩාත් තද කිරීමෙන් හා ඒවා හරිහැටි ක‍්‍රියාත්මක කිරීමෙන්.
මේ ගැන CSE ඉන්දියානු බලධාරීන්ට කර ඇති නිර්දේශ එලෙසින්ම අපටත් අදාළ කර ගත හැකියි.
සියලූ ක්ෂණික හා කඩිනම් ආහාර වර්ග පාසල් කැන්ටින් මෙන්ම ළමයින් ගැවසෙන වෙනත් ස්ථානවල අලෙවිය තහනම් කරන්න.
සෞඛ්‍යයට දිගු කාලීනව අහිතකර බවට වෛද්‍යවරුන් තහවුරු කළ සියලූ ආහාර මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීමේදී දැඩි සීමාවලට යටත් කරන්න.
ආහාරපාන අලෙවියට සකසන විට විස්තරාත්මක තොරතුරු පැකට්ටු හෝ ලේබල්වල අඩංගු කිරීම අනිවාර්ය කරන්න. විශේෂයෙන් සංතෘප්ත මේද, ට‍්‍රාන්ස් ෆැට්ස්, සීනි හා ලූණු අන්තර්ගතය මෙන්ම පෝෂණ සංඝටක ගැන ද විස්තර සඳහන් විය යුතුයි.
අවන්හල්, සුපර් මාකට් හෝ සාමාන්‍ය කඩ හරහා විකුණන ක්ෂණික හා ඉක්මන් ආහාර සියල්ලේ ලූණු, සීනි හා මේද ප‍්‍රතිශතය අඩු කිරීම නීතිගත කරන්න.
ඩෙන්මාර්කය හා හංගරිය වැනි රටවල් දැනටමත් කර ඇති පරිදි මේද අධික ලෙස අඩංගු ආහාරවලට මේද බද්දක් (fat tax) අය කිරීම හරහා ඒවායේ මිල වැඩිවීමට සලස්වන්න.
ගෙවී යන හැම වසරකම අනිසි ආහාර රටා නිසා නිදන්ගත රෝග සෑදීම වැඩිවන බව පෙර අපර දෙදිගම කැරෙන වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වෙනවා. අප මෙහිදී කතා කරන්නේ ආහාරවලට මුසුව එන වසවිස ශරීරගත වීමෙන් ඇතිවන දිගු කාලීන හානි ගැන නොවෙයි. ඒ බලපෑම්වලට අමතරව ජන සමාජය වසවිස ලෙසින් නොදකින සීනි, ලූණු හා මේද විශේෂයන් ද අධික භාවිතයෙන් දිගුකාලීන බරපතළ රෝග ඇතිවීම ගැනයි. මේ දෙකම මීට වඩා සමාජ අවධානයට හා ප‍්‍රතිපත්ති තීරක අවධානයට ලක් විය යුතුයි.
මෙහිදී වෛද්‍යවරුන් නොවන සෙසු විද්‍යාඥයන්ට ද කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාවට කැප වුණු රාජ්‍ය හා සිවිල් සමාජ ආයතන සමග එක්වී වෙළෙඳපොලේ අලෙවි කැරෙන සංරක්ෂිත ආහාර හා ඉක්මන් ආහාරවල අන්තර්ගතය නිතිපතා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතුයි. බැර ලෝහ ඇතුළු විවිධ රසායන ද්‍රව්‍ය ආහාරවල තිබිය හැකි උපරිම ආරක්ෂිත මට්ටම් දේශීය වශයෙන් ප‍්‍රමිතිගත කළ යුතුයි. (බොහෝ ආහාරපාන රසායන ද්‍රව්‍ය සඳහා එබඳු උපරිම මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණය කර තිබෙනවා.)
ආන්දෝලනයට තුඩු දෙන කිරිපිටි විස වීමක් හෝ ආහාර ආරක්ෂාව පිළිබඳ වෙනත් ප‍්‍රශ්නයක් මතු වූ අවස්ථාවල මේවා හරිහැටි පිිරික්සන්නට මෙරට රසායනාගාර පහසුකම් නැතැයි කියැවෙනවා. පිටරට යවා පිරික්සූ විට එම ක‍්‍රියාදාමයේ විශ්වසනීයත්වය සමහරුන් ප‍්‍රශ්න කරනවා.
හැමදාමත් මේ නැතිබැරිකම් කියමින් සිටිනු වෙනුවට අඩු තරමින් එක් අංග සම්පූර්ණ රසායනාගාරයක් මෙරට පිහිටුවා එය පවත්වා ගෙන යන්නට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කළ යුතුයි. රටක් දියුණු වනවා කියන්නේ අධිවේගී මාර්ග හා වෙනත් කොන්ක‍්‍රීට් යටිතල පහසුකම් සැදීම පමණක් නොවෙයි. මෙවැනි පහසුකම් ද අප සාදා ගත යුතුයි.
එසේම අද කාලේ බොහෝ දෙනාට ඉක්මනින් ආහාර පිළියෙල කර ගැනීමට වුවමනාවීම සමාජ යථාර්ථයක් ලෙස පිළිගෙන එයට උපකාර වන එහෙත් සිරුරට අහිතකර නොවන ආහාර විශේෂ නවෝත්පාදනය කර ප‍්‍රවර්ධනය කළ යුතුයි.
පෝෂණ ගුණය නොනසා, රසකාරක හා සංරක්ෂක රසායන නොයොදා යම් ආහාර සැකසුම් බිහි කරන්නටත්, ඒවා වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් පිළියෙල කරන්නටත් හැකි වූවොත් එබන්දකට හොඳ වෙළඳපොළ විභවයක් තිබෙනු ඇති. අපේ නව නිපැයුම්කරුවන්ට මේ අභියෝගයට ප‍්‍රතිචාර දැක්විය හැකිද?
ඉන්දියානු කළමනාකරණ ආයතනය නම් ප‍්‍රකට සරසවියේ ව්‍යාපාරික ක‍්‍රමෝපායන් පිළිබඳ මහාචාර්ය එස්. රඝුනාත් කියන්නේ මැගී ඇතුළු ක්ෂණික නූඞ්ල්ස් වර්ග ඉන්දියාවේ දුගී ජන කොටස් අතර මහත් සේ ජනප‍්‍රියවීමට (ප‍්‍රචාරණයට අමතරව) සමාජ-ආර්ථික සාධක ද තිබූ බවයි.
සාම්ප‍්‍රදායික ආහාර වේලක් (බත් සහ ව්‍යංජන හෝ රොටි වර්ග) පිළියෙල කිරීමට වැඩි කාලයක් මෙන්ම වියදමක්ද අවශ්‍යයි. උසස් අධ්‍යාපනයට හෝ රැකියා කිරීමට හෝ වඩ වඩාත් ඉන්දියානුවන්් යොමු වීම සමග කාලය සොයා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ඔවුන්ගේ උදව්වට ආවේ ඉක්මනින් ගෙදරදී සාදා ගත හැකි මැගී වැනි ක්ෂණික ආහාරයි. බත් වේලක වියදමෙන් තුනෙන් එකක් වීම අමතර වාසියක් වුණා.
නූතන කලබලකාරී සමාජයේ බොහෝ දෙනකු කාලය පිරිමසන උපක‍්‍රම සෙවීම සුලබ දෙයක්. එයට හේතුව අලස බව නොව ඉතිරි කර ගන්නා කාලයෙන් අමතර යමක් ඉගෙනීමට හෝ ආදායමක් ඉපැයීමට හැකි වීමයි. මේ නිසා ගුණදායක හා පෝෂ්‍යදායක ආහාර ප‍්‍රවර්ධනය කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. එවන් ආහාර දරා ගත හැකි (අඩු) මිලකට ගත හැකි වීමත්, ලෙහෙසියෙන් පිළියෙල කර ගත හැකි වීමත් ඉතා වැදගත්.

Post a Comment