හදිසි අනතුරුවල දී අනුගමනය කරනු ලබන වැරැදි ප‍්‍රථමාධාර ක්‍රම ගැන ඔබ දැනුවත්ද ?

මඟ තොටේදීත්, නිවසේදීත්, ඇතැම් විට රැකියාව කරන ස්ථානයේදීත් අප බොහෝ විට විවිධ හදිසි අනතුරුවලට මුහුණ දෙනවා. මෙවැනි අවස්ථාවල දී ගත යුතු හදිසි ප‍්‍රථමාධාර පියවර පිළිබඳ අප නිවැරැදි ව දැනුවත් වී සිටී නම් අනතුරුවලින් මතුවන ජීවිත අවදානම මඳක් හෝ අඩුකර ගැනීමට එය මහත් පිටුවහලක් වෙනවා.

පහතින් දැක්වෙන්නේ ඇතැම් හදිසි අනතුරුවල දී අප විසින් අනුගමනය කරනු ලබන වැරැදි කි‍්‍රයාකාරකම් සමහරක් සහ ඒ වෙනුවට අනුගමනය කළ යුතු නිවැරැදි ප‍්‍රථමාධාර පියවර කිහිපයකුත් ය.
  • කැපීමක් හෝ සීරීමක් හෝ සිදු වූ විට

මෙවැනි අවස්ථාවල තුවාලය මතට හයිඩ‍්‍රජන් ෆෙරොක්සයිඩ් වැනි විෂබීජ නාශකයක් දැමීමට අප බොහෝ විට උත්සුක වෙනවා. සැබවින්ම මෙමඟින් කැපීම් තුවාලය මත ඇති විෂබීජ විනාශ වීමෙන් සිදුවන යහපතට වැඩි අයහපතක් සිදුවන බව ඔබ දැන සිටියා ද?
හයිඩ‍්‍රජන් ෆෙරොක්සයිඩ් මඟින් තුවාලය මත ඇති විෂබීජ නසන අතර ම තුවාලය සුව වීමට මුල්වන අලුත් නිරෝගි සෛල ද විනාශ කර දමනවා. එමඟින් සිදුවන්නේ තුවාලය සුව වීම තවදුරටත් පමා වීමයි. එහෙයින් සම මත කැපීමක් හෝ සීරීමක් සිදු වූ විට අනුගමනය කළ යුතු නිවැරැදි ම පිළිවෙත වන්නේ, හැකි ඉක්මණින් සබන් සෝදා පිරිසුදු ජලයෙන් මෘදු ලෙස තුවාලය සෝදා හැරීමයි. ඉන් පසුව දූවිලි හා විෂ බීජ ඇතුළු වීම වැළැක්වීමට පිරිසුදු රෙදි පටකින් හෝ බැන්ඩේජ් පටියකින් හෝ ආවරණය කිරීමත් වැදගත්. එසේ කිරීමෙන් අනතුරුව දින දෙක තුනක් යනතුරු නියෝස්පරින් [Neosporin] වැනි ප‍්‍රතිජීවක ඖෂධයක් තුවාලය මත ආලේප කිරීම එය සුව වීම සඳහා හොඳට ම ප‍්‍රමාණවත්.
  • ආහාර ස්වාස නාලයේ සිර වූ විට

සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘ඉස්මොල්ලෙ යාම’ ලෙස හඳුන්වන මෙබඳු අවස්ථාවක අදාළ පුද්ගලයා ගේ පිට ප‍්‍රදේශයට අත්ලෙන් තදින් පහරදීම සිදුකෙරෙනවා. මෙලෙස තදින් පහරදීමෙන් බලාපොරොත්තු වන්නේ ස්වාස නාළයේ සිදුව ඇති අවහිරතාව ඉවත් කිරීමයි.
නමුත් මේ ක‍්‍රමය වැරැදි ප‍්‍රථමාධාර ක‍්‍රමයක් බවයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප‍්‍රථමාධාර පිළිබඳ උපදේශකවරුන් පවසන්නේ. මෙවැනි ඉස්මොල්ලෙ යාමක් සිදු වූ අවස්ථාවක අනුගමනය කළ යුතු හාඳම ක‍්‍රමය වන්නේ ඔහු හෝ ඇය හෝ පහසුවෙන් දිගා කරවීමයි. ඉන් පසු උදරය තෙරපීම මඟින් ස්වාස නාළයේ සිරවූ ආහාර කැබලි හේතුවෙන් සිදුවන හුස්ම ගැනීමේ අවහිරතාව වළකා ගත හැකියි.
  • දිව ගිලීමක් සිදු වන විට දී

යම් පුද්ගලයකු සිහි මුර්ජා වීමකට ලක්වූ අවස්ථාවන් වලදී මෙම ‘දිව ගිලීමේ’ තත්ත්වය ඇතිවිය හැකියි. එවන් අවස්ථාවක අසල සිටින අය කරන්නේ,
සිහිසුන් වී ඇති තැනැත්තා ගේ මුවට හැන්දක් හෝ වෙනත් එවැනි මිටක් සහිත යමක් හෝ ඇතුළු කිරීමට උත්සහ කිරීමයි. මෙයත් අනුමත කළ හැකි අන්දමේ ප‍්‍රථමාධාර ක‍්‍රමයක් නම් නො වේ. මෙවැනි අවස්ථාවක් උද්ගත වූ විට පළමුව කළ යුතු වන්නේ රෝගියා පැළඳ ගෙන සිටින හිස්වැසුම් ආදිය ඉවත්කොට, හිසට පහසුවක් ඇතිවන ආකාරයට කොට්ටයක හෝ කුෂන් එකක් මත හෝ සැහැල්ලු ලෙස දිගාකර වීමයි. අනතුරුව දිව අවහිර වීමෙන් ඇති විය හැකි හුස්ම ගැනීමේ අපහසුතා මඟ හැරවීමට නිකට මඳක් උස්සා තැබිය යුතුයි. මේ සියලු ප‍්‍රථමාධාර කටයුතු කි‍්‍රයාත්මක වන අතර අවශ්‍යයෙන් ම කළ යුතු වන්නේ රෝගියා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකර වීමයි.
  • මී මැස්සකු දෂ්ඨ කළ විට

කොස්සක් වැනි යමක් වේදනාගෙන දෙමින් සම මත ඉතිරි වේ. මේ බූව ඉවත් කිරීම සිදුකළ යුතු අතර විෂ බීජ ඇතුළු නො වන පරිදි නියපොත්තෙන් හෝ වෙනත් ඊට සුදුසු උපකරණයක් ආධාරයෙන් හෝ එය ඉවත් කිරීම වඩා සුදුසුයි. ඉන් අනතුරුව අයිස් පොට්ටනියක් යොදාගෙන මී මැස්සා දෂ්ඨ කළ ප‍්‍රදේශය තැවීම, වේදනාව අඩුවීමට ඉවහල් වේ. එසේ ම සම මත එම සතා දෂ්ඨ කළ ප‍්‍රදේශය ආශි‍්‍රත ව යම් කිසි ආසාත්මිකතා ලක්ෂණයක් මතු වේ දැයි විමසිල්ලෙන් සිටීම ද වැදගත්ය.
  • හයිපොත(ර්)මියා තත්ත්වයක් ඇති වූ විට

හයිපොත(ර්)මියා ලෙස හඳුන්වන්නේ ශරීර උෂ්ණත්වය නියමිත ප‍්‍රමාණයට වඩා එකවිටම අඩුවීම නිසා ඇතිවන රෝගි තත්ත්වය යි. විදෙස් රටවල නම් ශීත ඍතුවේ දී මෙම රෝගි තත්ත්වය බහුලව දැකිය හැකි අතර අප රට වැනි උණුසුම් දේශගුණයක් පවතින රටවල පුද්ගලයන්ට මෙම රෝගයට මුහුණ පෑමට සිදුවන්නේ බොහෝ වේලාවක් ජලාශවල හෝ නාන තටාකවල බැස සිටීම නිසයි. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට මේ හදිසි හයිපොත(ර්)මියා අවදානම ඇතිවීමේ ඉඩ කඩ ඉතා වැඩියි. 
මෙවැනි අවස්ථාවකට මුහුණදීමට, ඒ සඳහා වන ප‍්‍රථමාධාර පිළිවෙත් ගැන දැනුවත් වී සිටීම ඉතා වැදගත් වෙයි. මෙහි දී අප මුලින් කළ යුතු වන්නේ රෝගියා හැඳ පැළඳ සිටින සියලු තෙත ඇඳුම් පැළඳුම් ඉවත් කර ඒ වෙනුවට උණුසුම් සහ වැඩි ගනකමින් යුතු ඇඳුම් මෙන් ම පොරෝනා වලින් ද ඔහුව උණුසුම් කිරීමයි. තදින් ම හයිපොත(ර්)මියා රෝගි තත්ත්වයට ලක් වූ කුඩා දරුවන්ට, සිය මවගේ, පියාගේ හෝ වෙනත් වැඩිහිටියකු ගේ සිරුරින් උණුසුම ලබා දීම, වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන තෙක් ඔහුට හෝ ඇයට ලබාදිය හැකි වඩාත් හොඳ ප‍්‍රථමාධාරයක් වනු ඇත.
නිලුෂා නිරංජලා

No comments