කොහොමද දියවැඩියාව ඇස් පෙනීමට බලපාන්නේ කියලා ඔබ දන්නවාද ?


පහලින් අපිව subscribe කරන්න


ඇස් කියන්නේ අපේ ශරීරයේ ඇති වටිනාම අංගයක්. ඉතින් මේ ඇස් පෙනීම නැති උනොත් අපි කොයි තරම් අසරණ වෙනවාද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. මෙම ලිපියෙන් ඔබට අපි පෙන්වා දෙන්නේ දියවැඩියාව කොහොමද ඇස් පෙනීමට බලපාන්නේ කියා. මෙසේ ඇතිවන ප්‍රධානම රෝග තත්ත්වයක් වන්නේ Diabetic retinopathy තත්ත්වයයි.

Diabetic retinopathy යනු…

Diabetic retinopathy යනු දියවැඩියාව නිසා ඇතිවන සංකුලතාවයකි. රුධීරයේ සීනි මට්ටම වැඩිවූ විට ඇස්වල පසුපස කොටසේ ඇති දෘෂ්ටිවිතානයේ (retina) සෛල හානිවී වේ. ඒ සඳහා ප්‍රතිකාර නොකලහොත් ඇස් පෙනීම නැතිවී අන්ධ භාවයට පත්විය හැක.

දියවැඩියා රෝගයෙන් පෙලෙන පුද්ගලයින් තමාගේ රුධීර සීනි මට්ටම පාලනය කිරීම ඉතා වැදගත් වේ. දියවැඩියාව ඇති සෑම දෙනාම අවුරුද්දකට වරක් ඇස් පරීක්ෂා කිරීමෙන් ඇස්වලට සිදුවන හානි ලක්ෂණ මුල සිටම හඳුනා හැක.

දියවැඩියාව ඇති සෑමදෙනෙකුටම Diabetic retinopathy ඇතිවීමේ අවදානමක් ඇත. නමුත් රුධීර සීනි මට්ටම, කොලෙස්ට්‍රෝල් සහ රුධීර පීඩනය පාලනය කිරීමෙන් මෙම අවදානම අවම කල හැක.

දියවැඩියාව නිසා දෘෂ්ටිවිතානය හානි වන්නේ කෙසේද ?

දෘෂ්ටිවිතානය යනු ඇසේ පිටිපස ඇති ආලෝක සංවේදී සෛල අඩංගු ස්ථරයකි. එයින් ආලෝකය විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කරයි. මෙම සංඥා ස්නායු තන්තු හරහා මොලයට යවා මොළයෙන් අදාළ රූපය හඳුනා ගැනීමට සලස්වයි.

දෘෂ්ටිවිතානය ක්‍රියාත්මකව පැවතීම සඳහා නිත්‍ය රුධීර සැපයුමක් කුඩා රුධීර නාල ජාලයක් ඔස්සේ ප්‍රවාහනය වේ.

කාලයත් සමඟම, දීර්ඝ කාලයක් පවතින රුධීරයේ අධික සීනි මට්ටම රුධීර නාල සිහින් වීමට බලපාන් අතර ලේ ගැලීමක් හෝ කාන්දුවීමක් ඇතිවිය හැක. මෙය දෘෂ්ටිවිතානය හානියට පත්වී එහි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නතර වේ.

දෘෂ්ටිවිතානයේ මධ්‍යම ප්‍රදේශයේ ඉතා සංවේදී කොටසේ ඇති රුධීර වාහිනී වලටද බලපෑමක් දියවැඩියාව නිසා ඇතිවේ. එය Diabetic Maculopathy ලෙස හඳුන්වයි.

Diabetic retinopathy රෝග ලක්ෂණ…

මෙහි ආරම්භක අවධියේදී, සැලකිය යුතු කිසිදු රෝග ලක්ෂණ ඇති නොවේ. තත්ත්වය රෝගියාට නොදැනීම වර්ධනය වෙයි. නමුත් දෘෂ්ටිවිතානයට හානි වන අවස්ථාව පැමිණි විට නිසා රෝගියාට පෙනීමේ වෙනසක් දැනෙන විට මෙම රෝග තත්ත්වයට ගොදුරු වී ඇති බව අවබෝධ නොවනු ඇත. මෙම තත්ත්වය වන තුරු බලා සිටීම කිසි සේත් නුවණට හුරු නොවන්නේ, බොහෝ විට එවැනි තත්ත්වයකට පැමිණි පසු ඇසට ඇති වූ හානිය ආපසු හැරවීමට නොහැකි බැවිනි! එවිට ඇසේ පෙනීම අහිමි වී යා හැක!

එනිසා නිතර නිතර ඇස තුල පරීක්ෂාව අවශ්‍ය වේ. මෙම පරීක්ෂණයේදී ඇසේ පිටුපස පරීක්ෂාවට ලක්වී දෘෂ්ටිවිතානයේ ඡායාරූප ලබා ගනී. මෙහිදී ඔබේ පෙනීමේ වෙනසක් ඇතිවීමට පෙර මෙම Diabetic retinopathy හඳුනාගත හැක. ඔබට දියවැඩියාව ඇතිනම් ඔබේ පෙනීම පිලිබඳව අවධානයෙන් සිටින්න. වහාම ඔබ වෛද්‍යවරයෙකු හමුවී ඒ පිලිබඳව පරීක්ෂා කරන්න.

Diabetic retinopathy බරපතල වීම හේතුවෙන් හදිසි අන්ධභාවය ඇතිවිය හැකිවන අතර එය හැකි ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කල යුතුය.

දිවයිනේ ප්‍රධාන පෙලේ රජයේ රෝහල් සියල්ලේම දියවැඩියා සායන පැවැත්වෙන අතර, ඔබ කල යුත්තේ දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ දැනුන වහාම අදාළ සායනය වෙත යාමයි. ඉන්පසු වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න.

 

Diabetic retinopathy සඳහා ප්‍රතිකාර කිරීම

Diabetic retinopathy සඳහා කරන ප්‍රතිකාරය එය කොයි තරම් දරුණු ලෙස වැඩි වී ඇතිද යන්න අනුව වෙනස්වේ. උදාහරණයක් ලෙස, මෙම තත්වය මුල් අවධියේදී හඳුනා ගත හොත්, එය පාලනය කිරීමෙන් වඩා නරක අතට හැරවීමෙන් වලක්වා ගත හැක.

යම් රෝගියෙකුගේ Diabetic retinopathy තත්ත්වය දරුණු වී ඇතිනම්, ඇස් තවත් හානි වීමෙන් වලක්වා ගැනීමට ලේසර් ශල්‍යකර්මයක් හෝ එන්නත් ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය වේ.

 

Diabetic ඔබට Diabetic retinopathy වලක්වා ගැනීම සඳහා ගත හැකි වෙනත් පියවර වන්නේ…

Diabetic retinopathy වැඩිවීමේ අවධානම අවම කිරීම සඳහා ඔබේ රුධීරයේ සීනි මට්ටම, රුධීර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීම වැදගත් වේ. සැමටම යහපත් සෞඛ්‍ය පාලනයක් තිබීමෙන් දියවැඩියා සංකුලතාවය වලක්වා ගත හැක.

  • රුධිරයේ සීනි මට්ටම මනා ලෙස පාලනය වාර්ෂික පරීක්ෂණ සඳහා සහභාගි වීම

  • ඔබේ පෙනීමේ වෙනසක් තිබුනහොත් වහාම වෛද්‍යවරයාට ඒ පිලිබඳව දැනුම් දීම (මීළඟ පරීක්ෂණ වාරය එනතෙක් නොසිටින්න.)

  • ඔබට නියම කල පරිදි බෙහෙත් ගැනීම

  • බර අඩුකිරීම (ඔබේ බර වැඩිනම්) සහ සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ගැනීම

  • නිතිපතා ව්‍යායාම කිරීම

  • දුම්පානයෙන් මිදීම

  • ඔබේ කොලෙස්ට්‍රෝල් සහ රුධීර පීඩනය පාලනය කිරීම

ඉතින් ඉහත කී අයුරින් ඔබ නිතරම විමසිල්ලෙන් සිටීමෙන්, සීනි පාලනයෙන් සහ වෙනසක් දැනුන වහා වෛද්‍ය උපදෙස් පැතීමෙන් ඔබටත් මෙම අවදානම අඩු කර ගත හැක.

No comments